Showing posts with label Buddhist. Show all posts
Showing posts with label Buddhist. Show all posts

පහන් පූජාවේ අනුසස්,

                                 පහන් පූජාවේ අනුසස්..!

                                                              
"දීපදෝ හෝති චක්ඛුදෝ" යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි.
අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. "උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය"යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.
ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ,
කල්ප ල්ක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේපෝය දිනයක එක් බෝධිවුක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයෙහි හිදගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැදගෙන මහත් සොම්නසින් "ඉදින් බුදුරජානන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම්, මේ බෝධින් වහන්සේ ප්‍රාතිහරයයක් දක්වන සේක්වා, මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා" යි සිතූවාය.
එකෙණෙහිම බෝරුක දිලිසුණි. සියලු බෝරුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණි. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මුල විසුවාය. සත්වන දින රාත්‍රීයෙහි පූජාසනය මත පහන් පසක් දැල්වූවාය. ඒ පහන් පසුදින හිර උදාවන තෙක් ම දැල්විණ.
පසු කාළයේ ඕ කළු්‍රිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුන් උස තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගනනක් නැති පහන් දැල්වෙන්නේය. ඇයට දක්නට කැමති උඩ යට සරසා ඇති සියල්ල ඇසට පෙනෙන්නේය.
ඒ පිනෙන් ඕ අසූවරක දෙව් රදුන්ගේ බිසව වූවාය. සියවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑම තැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විද අන්තිම ජාතියේ අප බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහිම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් හවුරුදු වියෙහිම ඕ උපසම්පදාවද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.
සතයහස්සිතො කප්පෙ යං දිපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.
මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම්ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියට නොපැමිණියෙමි, මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තෙරුමය.
(ආපදානපාළියෙන්)
(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

උපුටාගැනීම  Path to Nirvana - නිවන් මාර්ගය


පුනුරුප්පත්තිය පිළිබද බුදුදහමේ විග්‍රහය...

                    පුනුරුප්පත්තිය  පිළිබද බුදුදහමේ විග්‍රහය..


මානව වර්ගයාගේ ආදිතම මිනිසාද මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කළේ ය. ලොව සෑම ආගමක්ම මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කරයි. එහෙත් භෞතිකවාදීහු පමණක් මරණින් මතු යළි ජීවිතයක් පිළිබඳව විශ්වාස නොකරති. මේ අනුව මරණින්මතු ජීවිතයක් පිළිබඳව අන්ත දෙකක් දක්නට ලැබේ. ඒ අන්තදෙක ශාශ්වත වාදය හා උච්ඡේද වාදයයි. ශාශ්වත වාදය යනු මිනිසා තුළ නිත්‍ය, සදාකාලික නොවෙනස් වන ආත්මයක් ඇති බව පිළිගනිමින් ඒ මත පදනම් වූ පුනරුප්පත්තියක් පිළිගැනීමයි. ශාශ්වත වාදයට අනුව, නොනැසී පවතින ආත්මය මරණයත් සමඟ පැරැණි කය අතහැර අලුත් කයකට ඇතුළුවෙයි. එය කෙනකු පැරැණි වස්ත්‍රය ඉවතලා අලුත් වස්ත්‍රයක් ඇඳගන්නාක් මෙනි. එසේම කූඩල්ලා එක් තණ කොළයකින් තවත් තණ අගකට ගමන් කරන්නාක් මෙනි. මෙය නිත්‍ය ආත්මය පදනම් කරගත් ‘සස්සත වාදය’ නම් වේ.

උච්ඡේද වාදියා මිනිසා හුදු භෞතිකමය සිරුරකින් පමණක් සමන්විත දෙයක් බව පිළිගනිමින් මරණයත් සමඟ සිරුර විනාශයට පත්වන බවත් ශරීරයේ ධාතු කොටස් නැවත ඒ ඒ ධාතුන්ට එකතු වන බවත් ඉන් එහාට ගිය කිසිදු පැවැත්මක් පුනරුප්පත්තියක් හෝ පුනර්භවයක් හෝ නැති බවත් අවධාරණය කරයි.

පායාසි රාජඤ්ඤ නම් රජු මරණින් පසු සත්වයාට සිදු වන්නේ කුමක්ද යන්න පරීක්ෂා කිරීමට විවිධ පර්යේෂණයන්හි යෙදුණේය. ඔහුට අවශ්‍ය වූයේ පුනරුප්පත්තියක් තිබේද යන්න පියෙවි ඇසින් සොයා බැලීමටයි. ඔහු මරණයට තීන්දු වූ මිනිසුන් ඒ සඳහා යොදා ගත්තේ ය. විශාල බඳුන්වල පණ ඇති මිනිසුන් දමා එම භාජනවල පියන් සුළං පොදක් හෝ ඇතුළුවීමට පිටවීමට නොහැකි තරමට වසා දමා දින ගණනාවකට පසු එම වැසුම් ඉවත් කරමින් මැරුණු මිනිසාගේ ප්‍රාණයත් ආත්මයත් බඳුනෙන් ඉවත්වෙදැයි පරීක්ෂා කර බැලුවේය. මිනිස් සිරුරෙන් මරණින් පසු කිසිවක් ගමන් නොකරන බව ඔහු ඉන්ද්‍රියානූභූතියෙන් පරීක්ෂා කොට බැලුවේ ය. මෙබඳු පර්යේෂණ ප්‍රාථමික නොදියුණු දේ වුවත් මෙය මසැසින් පුනරුප්පත්තියක් තිබේද යන්න පරීක්ෂා කළ අවස්ථාවකි. මෙසේ පර්යේෂණ කළ පායාසිරාජඤ්ඤ පුනරුප්පත්තියක් නැතැයි නිගමනය කළේ ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ.

නූතන ලෝකයේ මෑතක සිට මරණාසන්න පුද්ගලයන් විසින් නැතහොත් මරණයට පත්වී මොහොතකින් යළි ජීවිතය ලැබූවන් විසින් තමා ලැබූ අත්දැකීම් ප්‍රකාශ කරන ලද අවස්ථා එක්කොට පර්යේෂණ ග්‍රන්ථ ගණනාවක් බිහිවී ඇත. 1977 රේමන් ඒ මූඩි ‘Life after Life’ යන නමින් එළිදැක්වූ ග්‍රන්ථය එම වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථ අතරට එක්විය. ඉන් පසු Near Death Experiance (NDE) එනම් මරණාසන්න පුද්ගලයාගේ අත්දැකීම් නම් විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව ලොව පුරා කථාවෙමින් පවතී.

නූතන විද්‍යාවේ දියුණුවත් සමඟ වෛද්‍ය විද්‍යාවේ හාස්කම් මේ විෂය මතුවීමට හේතුවක් වී ඇත. කෙනෙක් මිය ගිය මොහොතේම හෘදයේ ස්පන්දනය ඇති කොට මරණයට පත්වූ පුද්ගලයා නැවත ජීවිතය ලබාගත් විට තමා විඳි අත්දැකීම ප්‍රකාශ කළ අවස්ථා එක් රැස්කොට මරණාසන්න වූවන්ගේ අත්දැකීම් විෂය කලඑළි බැස ඇත. මියගිය පුද්ගලයාගේ හෘදය අකර්මණ්‍ය වී විනාඩි සතරක් පමණ ගතවනවිට මොළයට රුධිරය ගලායෑම නවතී. ඉන් පසු ශරීරය සීතල වීමට පටන් ගනී. මෙම විනාඩි තුන හතර තුළ වෛද්‍යවරුන් හෘදය ස්පන්දනය ලබාදුන් අවස්ථාවන් හි ඇතැම් රෝගීන් මරණයට පත්වී නැවත ජීවිතය ලබා ඇත. ඔවුන්ගේ මේ ප්‍රකාශවලින් අවසානයේ නිගමනය කර ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත අනුව ඔවුන් ජීවිතය ලැබූ බවකි.

කිසිදු ආගමක් නොපිළිගත් අයත් මේ අත්දැකීම්වලින් අපාය හෝ දෙව්ලොව පිළිබඳව දැකීමෙන් යළි උපත ලබා තම ආගම්හි දැක්වෙන අපාය, ස්වර්ගය පිළිබඳව විශ්වාස කිරීමට පටන් ගත් බවත් ඔවුන් ඉතා යහපත් පුද්ගලයන් වූ බවත් මෙකී වාර්තාවලින් කියැවේ. ලොව සියලු ආගම්වල මරණින් මතු ජීවිතයක් පිළිගන්නා අතර මේ පුනරුප්පත්තියට පාදක කරගත්තේ නිත්‍ය, නොවෙනස් ආත්මයක් ඇත යන පිළිගැනීමයි. එය ශාශ්වත වාදය ලෙස අපි මීට ඉහතදී සඳහන් කළෙමු. එහෙත් බුදු සමය අනුව පුනරුප්පත්තිය යන වචනයට වඩා ‘පුනර්භව‘ යන වචනය මෙහිලා යොදා ගැනීම වැදගත්වේ. අපාය හා ස්වර්ගය පමණක් නොව මරණින් මතු තිරිසන්, ප්‍රේත, භූත හා දෙව්ලෝ බඹලෝ ආදි වශයෙන් අනන්ත වූ උප්පත්ති හි මරණින් මතු සත්වයාගේ පැවැත්මක්, භවගාමීත්වයක් පිළිගන්නා බව අප අවබෝධ කරගත යුතුය.

මේ මරණාසන්න වූවන්, නැතහොත් මරණයෙන් පසු ක්ෂණිකව ජීවිතය ලැබූ අය කරන ප්‍රකාශවලට ඔවුන්ගේ ආගමික සංස්කෘතික විඥානයන් ගැබ්වී ඇතිබව අමුතුවෙන් කිවයුතු නැත. මේ හැම ප්‍රකාශයක්ම එක හෙළා සත්‍ය ප්‍රකාශන ලෙස පිළිගත යුතු නොවන අතර බැහැර කිරීමද නොකළයුතුය. සමහර ප්‍රකාශන සිහිමුර්ජාවෙන් සිටි රෝගියා මේ කාලය තුළ දුටු මතිභ්‍රමයක් (Helusination) ද විය හැක. සමහර ප්‍රකාශන සැබැවින්ම සත්‍ය විය හැකිය. මක්නිසාදයත් කිතු දහමේ වන ස්වර්ගය, අපාය අසත්‍යයක් නොවන නිසාය. කිතුනුවන් පමණක් නොව ඉස්ලාම් බැතිමතුන්, හින්දු බැතිමතුන් බොහෝ පින්කම් කරති. ඔවුන්ගේ පින් පව් අනුව ස්වර්ගයේ හෝ අපායේ උප්පත්තිය ලබති. ඔවුන් කවර තැනක උපන්නත් තමන් පුරුදු පුහුණු කරගත් ලබ්ධීන් හි දෘෂ්ටීන්හි එල්බගෙන සිටිති. ඒ නිසා ඔවුන් කරන ප්‍රකාශනවලට ඔවුන්ගේ පිළිගැනීම් පදනම් වන අතර ඒ ප්‍රකාශන අසත්‍යයයි කිසිවකුට බැහැර කළ නොහැකිය.

මරණාසන්න, නැතහොත් මියගොස් යළි ජීවිතය ලැබූ අයගේ ප්‍රකාශනයන්හි පොදු ලක්ෂණ මෙසේ ගොනුකොට දක්වා ඇත. මියගොස් ආපසු පියවි සිහිය ලැබූවන් කළ ප්‍රකාශයන්ට අනුව ඒ, ඒ පුද්ගලයන් විවිධ අත්දැකීම් ලබා ඇත.

අමිහිරි අදෝනාවන් ඇසීම, තමන් මියගොස් ඇති බව දැනීම, ලෝකයෙන් තමන් ඉවත් වූවාය යන අවබෝධයන් ඇතිවීම, මහා අඳුරු දෝනාවකින් වේගයෙන් ගමන් කරන බව දැනගැනීම සහ විශාල ආලෝකයක් තුළ නැතහොත් ගිනිජාලාවක ගිලීයන බව දැනීම ආදිය ඉන් කිහිපයකි. එසේම ආලෝකයක් සහිත නැතහොත් සුදු ඇඳගත් කෙනෙක්, හිතවතෙක් හමුවීම, තමා මෙතෙක් ගත කළ ජීවිතය පිළිබඳ සමාලෝචනයක යෙදීම සහ ජීවිතයත් ලෝකයත් පිළිබඳ අලුත් වැටහීමක් ලැබීම ආදියද ඒ අත්දැකීම් අතරට ඇතුළත්ය.

බුදුදහමට අනුව, මෙබඳු ප්‍රකාශනයන් පිළිබඳව කෙසේ විමසිය හැකිද? මේ කිසිදු ප්‍රකාශයක් එකහෙළා සත්‍ය හෝ අසත්‍ය දේ ලෙස එකවර එකඟවීමට හෝ විරුද්ධ වීමට නොහැකිය. සමහර ප්‍රකාශයක් සත්‍ය විය හැකි අතර සමහරෙකුගේ ප්‍රකාශන සිහි මුර්ජාවකින් නැතහොත් කෘත්‍රිම නින්ද්‍රාවකින් පසු ඇතිවූ මනෝභාවයක් විය හැකිය. මෙහි එකඟ විය හැකි දේ නම් මරණින් මතු සත්ත්වයාගේ පැවැත්ම බුදු සමය අවිවාදයෙන් පිළිගන්නා බැවින් චුති සිත හා ප්‍රතිසන්ධි සිත, කර්මය , කර්ම නිමිති, ගතිනිමිති ආදි ඉගැන්වීම් පරීක්ෂා කර බලනවිට මරණාසන්න අත්දැකීම් බොහො ඒවා අසත්‍ය ලෙස සැලකිය නොහැකි බවයි.

මරණාසන්න පුද්ගලයා ඊළඟ භවයට පත්වන අතරතුර අන්තරා භවයක සැරිසරන බව කථා වත්‍ථුප්පකරණයෙහි සඳහන් වේ. සංයුක්ත නිකායේ වච්ඡගොත්ත සූත්‍රයෙහි මරණයට පත්වන තැනැත්තා තෘෂ්ණාවෙන් දැඩිව අල්ලාගැනීම නිසා හෙවත් උපාදානය නිසා භවය හෙවත් පුනර්භවයට පත්වන බව විස්තර කෙරෙයි. මේ භවයෙන් චුතව ඊළග භවයෙහි ප්‍රතිසන්ධිය ලබන මේ අතරතුර තණ්හාව උපාදාන කොට සත්වයා සැරිසරන බව බුදුන් වහන්සේ වච්ඡගොත්තට පැහැදිලි කළ සේක. මෙම අවස්ථාව සදාකාලික ආත්මයක් පිළිබඳව පිළිගැනීමක් නොවන බව වටහාගත යුතුය.

අංගුලිමාල දුගතියෙන් මිදීමත්, ආනන්තර්ය පාප කර්මයන්හි නිරත වූ දේවදත්ත භික්ෂුව සහ අජාසත්ත රජු අවිචිමහා නරකයේ ගිනිදැල්ලට හසුවීමත් පිළිබඳ සිදුවීම් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. අපායේ ගිනිදැල් පිළිබඳව අපේ මරණාසන්න පුද්ගලයන් කරන්නාවූ ප්‍රකාශන අප සමාජයේ බොහෝ දෙනකු අසන්නට ඇත. හෘදය රෝග විශේෂඥ වොට්සන් රොව්ලින් විසින් ලියන ලද ‘අපායට ගොස් ආපසු පැමිණීම’ නම් කෘතියෙහි දෙව්ලොවට හා අපායට ගොස් ආපසු පැමිණි අයගේ අත්දැකීම් රැසක් ඇතුළත් කොට ඇත. ඒ අතර රෝනල් රේගන් නම් තැනැත්තා හෙළි කරන කථාව පරීක්ෂා කර බලමු. රෝනල් රේගන් නම් මිනිසා මත්ද්‍රව්‍යවලට, මත්පැන්වලට ඇබ්බැහි දරුණු කෙනෙකි. ඔහු නිතර කලකෝළාහලවල පැටලෙන කෙනෙකි. බිරිඳට දරුවන්ට වධ දෙන කෙනෙකි. ඔහු දිනක් කෙනකුගේ මාරාන්තික ප්‍රහාරයකට මුහුණ දුන් අතර මරණාසන්න තුවාල ලබා රෝහලට ඇතුළත් කළේ ය. අධික රුධිරවහනය නිසා ඔහු මරණාසන්න විය. මොහුට දැන් ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණකැයි වෛද්‍යවරු කීවෝ ය. හදවත නතර විය. එසැනෙන් ඔහු විශාල දෝනාවකින් ගමන් කරන බවක් හැඟුණි. විලාප හඬ හැම පැත්තෙන්ම ඇසෙන්නට විය. ගිනිජාලාවේ දැවෙන මිනිසුන් දුටුවේය. “එපා රේගන් මෙහෙ එන්න එපා!” කෙනකු උස් හඬින් කියනු ඇසුණි. ඔහුට කුඩා කල සිහිපත් විය. ඔහු දරුණු පුද්ගලයකු බවට පත්වූයේ පියාගේ වරදින්ය. ඔහුගේ පියා සිත්පිත් නැති කෙනෙකි. තමා කුඩා වයසේදී ආදරයෙන් ඇති දැඩි කළ බැටලු පැටවා පියා විසින් මරනු ලැබූ පසු රේගන් දරුණු විය. ඔහු කැලෑ පැන්නේ ය. එතැන් පටන් ඔහු දරුණු කෙනෙක් විය. ‘අංගුලිමාල පිළිබඳ උදාහරණය මීට සමාන වන්නේ අංගුලිමාල දරුණු කෙනෙක් වූයේ සමාජය ඔහුට ඊර්ෂ්‍යා කොට ඔහු විනාශයට ඇද දැමූ නිසාය. රේගන් දරුණු චරිතයක් වූයේ පියාගේ අකරුණාව නිසාය. ඔහු සියලු දෙනාට රුදුරු වීමට පුරුදු වූයේ ඉන් අනතුරුවය. මේ නිසා මේ හෘදය සාක්‍ෂිය ඔහුට අපාය ගිනි දැල්ලෙන් මිදීමට හේතු වන්නට ඇත.

මරණින් පසු උපදින ස්ථාන පිළිබඳ බොහෝ දෙනකුට ගති නිමිති පෙනේ. මරණාසන්න සමහරෙක් තමන්ට මියගිය නෑදෑයන් කථාකරන බව පවසති. ඒ සමහර විට ‘පරදත්තූප ජීවී’ සත්වයන් විය හැකිය. එම සත්වයෝ ඉතා අසරණව කල් ගෙවති. එබඳු සත්වයන් තම ඥාතියකු තමාට එකතු කර ගැනීමට කැමැත්තක් දක්වන බැවින් මරණාසන්න තැනැත්තාට හෝ තැනැත්තියට තමන් වෙසෙන ස්ථානයට ආරාධනා කරති. මේ අතර සමහර මරණාසන්න අය ගිනිදැල් දකිති. ඒවා ගති නිමිති වශයෙන් අපාය දැකීමක් විය හැකිය. මෙබඳු අවස්ථාවලදී ජීවත්ව සිටින දූදරු ඥාතීන් කළ යුතු වන්නේ එම මරණාසන්න තැනැත්තා හෝ තැනැත්තියගේ සිත යහපත් පැත්තට යොමු කිරීමයි. ඔහු විසින් කරන ලද කුසල කර්ම ඔහුට හෝ ඇයට සිහිපත් කිරීමෙන් මේ ගති නිමිති වෙනස් කිරීමට හැකිවේ. තම මව්පියන්ගේ මරණාසන්න මොහොතේ යහපත් ගතිනිමිති ජනිත කළ හැකිනම් එය මවුපියන් වෙත ජීවිතයේ කළහැකි ඉහළම ප්‍රතිඋපකාරයයි.

බෞද්ධ සාහිත්‍යයෙහි මරණාසන්න මොහොත පිළිබඳව දැක්වෙන සිදුවීම් බොහොමයක් ඇත. ධම්මික උපාසක තුමාගේ කථාව, නකුලමාතා නකුල පිතාගේ කථාවස්තුව ධර්මාශෝක රජතුමාට මිහිඳු මාහිමියන් පිහිටවූ අවස්ථාව මේ අතරින් වැදගත් තැනක් ගනී. දුටුගැමුණු රජතුමා මනුෂ්‍ය ඝාතන පිළිබඳ පසුතැවෙන මොහොතේ රහතන් වහන්සේ විසින් එතුමාගේ මරණාසන්න මොහොත යහපත් පැත්තට යොමු කරන ලද අවස්ථාවද ඓතිහාසික අවස්ථාවකි. යුරෝපයට මේ මරණාසන්න මොහොත පිළිබඳ දැක්ම අලුත් දෙයක් වුවත් බෞද්ධ වූ අපට එය සාමාන්‍ය දෙයකි. එහෙත් බෞද්ධ වූ අපට ලෝකයාට දිය හැකි පණිවිඩය විශාලය. ඒ සඳහා අප යහපත් උත්සාහයක් දැරිය යුතුය.

මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි
බුදුසරණ පුවත්පත 2014/03/16

https://www.facebook.com/sinhala.buddhist
Please Like This Page...

බුදුන් වහන්සේ සිරි පතුල්හි ස්‌පර්ශය ලද සමන්ගිරය..

සමන් දෙවිඳුගේ ඇරයුමෙන්, බුදුන් වහන්සේ සිරි පතුල්හි ස්‌පර්ශය ලද සමන්ගිරය.
අසිරිමත් සම්බුදු තෙමඟුගට සාධූ ජන නඳින් පිරීයන ඓතිහාසික ශ්‍රී පාදස්ථාන පුණ්‍ය භූමිය..


---------------------------------------------------------------------------------------------------------------------------------------------------
සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා ය.

මණිඅක්ඛිත නාග ගෝත්‍රික මහා නිරිඳාණන්ගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වඩමවා වදාළ බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් මේ ලක් දෙරණත තව තවත් පූජනීයත්වයට පත් කරලීමේ අදිටනින් වෙනත් විශේෂිත ස්ථානයන් කීපයකටම වැඩි සේක.
මේ තෙවැනි සදහම් චාරිකාවේ සතර වැනි මහා ස්ථානය වශයෙන් තෝරා ගත්තේ ‘සමන්තකූට’ නම් වූ උස් වූ කඳු ශිඛරය මතට සපැමිණීමට ය. මහා කඳු මාලාවක් අතර පිහිටියා වූ ද එම කඳු සමූහය අභිබවමින් ලක් සිරසෙහි මිනි කිරුළ සේ ඉතාමත් රමණීය වූ දසුනක් මවන සමන්ත කූ®ටය මේ ලක් දෙරණත සොබා සෞන්දර්යයේ අග්‍රගණ්‍ය ඵලය යැයි හඳුන්වා දීම අසාධාරණ නොවේ.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------
බුදු පියාණන් වැඩි සමයේ මෙහි එක්තරා දේව කොට්ඨාසයක් විසූ බවත් එතුමන්ලාගේ නායකයා සුමන නම් වූ බවත් පැවැසෙයි. හාත්පස පිහිටියා වූ පර්වත කූට අතරින් අතිශයෙන් අභිමානවත් වූ කූ®ටය නිසා එය ‘සමන්ත කූටය’ වී යැයි ද කියැවෙයි. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘ සුමනකූට’ වූවා යැයි ද තවත් මතයෙකි.
සුමන සුරිඳාණන්ගේ ආයාචනය පිළිගනිමින් මේ සුරම්‍ය වූ පර්වතය මුදුන් තලයෙහි ඉන්ද්‍රනීල නම් මාණික්‍ය මතුයෙහි බුදුන් වහන්සේ තම ශ්‍රී පාදය තැබූ විට මැටි පිඬක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ ශක්තියේ අධිෂ්ඨාන බලයට ඉන්ද්‍රනීල මාණික්‍ය මතු පිට පිවිතුරුවූ සිරිපා කමල සළකුණු වූ බව සඳහන් වෙයි. ඉන් ඉක්බිති සමන්ත කුටය ශ්‍රී පාදස්ථානය නමින්ද ප්‍රසිද්ධියට පත් විය.
අනුරාධපුර යුගයටත් පෙර මුටසීව රජ දවස ක්‍රි.පූර්ව සිව්වැනි ශත වර්ෂයේ ඇලෙක්සැන්ඩර් නම් ගී‍්‍රක අධිරාජ්‍යයා අතිශය දුෂ්කර මේ මහා ගිරි ශිඛරය නැඟීමට පහසුවක් ලෙස යකඩ දම්වැල් සවිකර ශ්‍රී පාද කන්ද තරණය කළ බවත් ගී‍්‍රක ඉතිහාසයේ ලියැවී තිබෙන අතර කාශ්මීරයේ මේඝ වර්ණ නම් රජු බු.ව. 563 දී සමන්ත කූටය වන්දනාමාන කර ගත් බව කාශ්මීර ඉතිහාසයේ සඳහන්ව ඇත. අනුරාධපුර යුගයේ රජවරුන් මෙම ස්ථානය ගැන අවධානය යොමු කර ඇති බවක් මහාවංශ පූර්ව භාගයේ සඳහන් නොවේ.
කීර්ති නිශ්ශංක රාජ්‍ය සමයේ කොටෙකුගේ උපකාරයෙන් ශ්‍රී පාදස්ථානය සොයා ගත් බවට ජනප්‍රවාදයේ පැවැසෙතත් එය සාවද්‍ය බව සනාථ වන්නේ ඊට ප්‍රථම විජයබාහු රජතුමා ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ ශ්‍රී පාදස්ථානයට පිදූ ගම් පිළබඳව සාක්ෂි සහිතව ‘අඹගමුව ශිලා ලිපිය’ මගින් තහවුරු වන බැවිනි. දුටුගැමුණු රාජ්‍ය සමයේ සමන්තකූටයෙහි නවසියයක් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි බැව් මහාවංශයේ සටහන්ව තිබේ.

ක්‍රි.ව. 961 දී සොලීන් විසින් මෙහි තිබූ දා ගෙයක් විනාශ කළ බවත් ධ්ඍ මිහිඳු රජතුමා විසින් එය නැවත කරවන ලද බවත් කියැවෙයි. මහා පරාක්‍රමබාහු රජතුමා මෙහි සමන් දේවාලය කළ බව රාජාවලියේ සටහන්ව ඇත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1752) හැට අමුණක කෙත් වතු, ගෙවතු ගහකොළ ඇතුළු කුට්ටම්පිටිය නම් වූ ග්‍රාමය සහිතව ශ්‍රී පාදස්ථානය වැලිවිට සරණංකර සංඝරාජ මහා නා හිමි ප්‍රමුඛ ශිෂ්‍යයානු ශිෂ්‍ය පරම්පරාව වෙත පිදූ බව ‘වැලිවිට තඹ සන්නසෙහි’ සඳහන් කර තිබේ. රජතුමාගේ නියමයෙන් ප්‍රතිරාජදේව අමැතිතුමා සමන්දෙව් රුවක් සාදවා රන්රුවන් ආභරණයන්ගෙන් සරසා එය සමන්ත කූට ඉස්මත්තෙහි වාඩා හිඳුවා ශ්‍රී පාද මණ්ඩපය කළ බව කියැවෙයි. වීර වික්‍රමබාහු රජතුමා එක් දවසින් සිරිපා කරුණාකර පස් රියනක් උස, පසළොස් රියනක් වට ඇති දොළොස් මහේ පහනක් පූජා කර, ගෙත්තම් පහනේ සිට පියගැට පෙළ 780 ක් ගලින් කළ බව ද පැරැණි තඹ සන්නසක සටහන්ව තිබේ.
ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා යෑමට ප්‍රධාන මාර්ග තුනක් ඇත. ඉන් රජ කාලයේ සිට පැවැත එන්නේ රත්නපුර පළාබද්දල සිට ඇති මාර්ගයයි. මෙය කි. මි. 10ක් පමණ දුරකින් යුක්තය. දෙවැනි ගමන්මාර්ගය වැටී ඇත්තේ කුරුවිට එරත්න හරහාය. තෙවැනි මාර්ගය නම් හැටන් නල්ලතන්නියේ සිට සැකැසී ඇති මාර්ගයයි. එය කි. මි. 6.5 ක් පමණ වූ මඟකි. බහුතරයක් වන්දනාකරුවන් පහසුව තකා අද සිරිපා වන්දනාවේ යෙදෙන්නේ නල්ලතන්නි මාර්ගයෙන් ය.
මෙසේ පාදමේ සිට ආරම්භ වන මාර්ග තුනක් තිබුණ ද පලාබද්දල සහ එරත්න මාර්ගය හැරමිටිපාන නම් ස්ථානයේ සිට එක් ගමන් මඟක් බවට පත්වෙයි. මේ ගමන් මාර්ග ත්‍රිත්වයේදීම වෙන් වෙන් වශයෙන් අපට ශීත ගඟුල යැයි නම් කළ තැනක් ගෙත්තම්පාන (ඉඳිකටුපාන), මහගිරිදඹ, අහස්ගව්ව වැනි ස්ථානයන් හමුවෙයි. පලාබද්දල මාර්ගයේදී හමුවන ධර්මරාජ ගල යන ස්ථානයේ පඩි පෙළ සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ, ධර්මාලංකාර සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ පරපුරේ කෙනෙක් විසින් බව ‘ධර්මරාජ ගල් සන්නස’ අනුව අනුමාන කෙරෙයි.
මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් (අඩි 7360) උස් වූ සමනොලකන්ද ආශි‍්‍රත සිරිපා අඩවිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයක් යා කරන පුළුල් පරාසයක පිහිටි පාරිසරික වශයෙන් මිල කළ නොහැකි ජල පෝෂිත කලාපයකි. මෙම සිරිපා අඩවිය මුළු ලක් දරණී තලයටම ජීවය ප්‍රදානය කිරීමට සමත් සතර මහා ගංගාවන්ට තිඹිරගෙය සාදන සොබාදම් මාතාව බඳුය.මේ ස්වභාව ධර්මයේ අසිරිමත් වූ අපූරු නිර්මාණය උතුම් බුදුපියාණන් ගේ පා කමල ස්පර්ශයෙන් වන්දනාමානයට පාත්‍ර වු පූජනීය ශුද්ධ භූමියක් බවට පත් විය. එතැන් සිට කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා වූ බැතිබර ජනතාව මේ මහා ගිරි ශිඛරය තරණය කරමින් සිරිපා කරුණා කිරීමේ අභියෝගයට එඩිතරව මුහුණ දෙන්නේ කාය ශක්තිය අභිභවමින් නැගී සිටින චිත්ත ශක්තිය වඩවාලීමට තරම් සිරිපා කමල සලකුණ සමත් වන නිසාය.


උපුටා ගැනීම --https://www.facebook.com/pages/Buddhist/201888749850508?ref=stream
උඩ දාල තියන link එකට ගිහින් Like කරලා ඒ page එක කරන අයට සහයෝගය පලකරන්න...


ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු

ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු..


අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.
උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ කීහ.

බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.

මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.

"වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ.

වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. මේ ලෝකය කාමයෙන් තණ්හාවෙන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.

ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා.

මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා.

"වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කර තියෙනවා. බුද්ධාගමේ හැටියටම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ දේව සභාවේදී තීන්දු කළා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම "බැහැ" කීවා.

"ඒ ඇයි?" කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මගෙන් ඇහුවා.
"මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න" කියා මම කීවා.

"මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?" කියා එවර එතුමා මගෙන් ඇහුවා.

"මට බුදු වෙන්න ඕනෑ" කියා මම කීවා.

"ඇයි? මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මගෙන් ඇහුවා.

"මට බැහැ. මටත් උවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න. ඔබත් කවදා හරි ලොව්තුරා බුදු බවට පත්වෙනවා." කියා මම කීවා.
"ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ" යි මම නැවතත් කීවා.

"ආ.... නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ?" කියා මගෙන් ඇහුවා. මට උත්තර නැති වුණා.

"එහෙනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ" ය මම කීවා.

"ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා" කියා එතුමා කීවා.

ඒ ලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුදු සියයක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්.

"ඉතින් නායක හාමුදුරුවනේ! අන්තිමටම ආපු එක්කෙනා කව්දැ"යි මීතිරිගල නාහිමියෝ හරස් ප්‍රශ්නයක් ඇසූහ.

"අන්තිමට ආපු එක්කෙනා පියදස්සි." මේ එව් පිරිස නිසා බුද්ධාගමට සිදුවෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්වේ ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට. ඒ ඒ අය බාරගත් වැඩ කොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.

ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා.

ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.

මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න.
බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ.
බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා.

ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි.

මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා.
ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.



උපුටා ගැනීම --https://www.facebook.com/sinhala.buddhist
උඩ දාල තියන link එකට ගිහින් Like කරලා ඒ page එක කරන අයට සහයෝගය පලකරන්න...

https://facebook.com/auritasoft